ටොල්කීන් සූරීන් ලියූ The Lord of the Rings කතා පෙළේ එන ගෝලම් වසර පන් සියයක් අඳුරු ගුහාවක සැඟවී සිටීම නිසා, ඔහුට තම නම පවා අමතක විය. ඔහුගේ බස ද පිරිහී ගියේ ය. හේ "eggs" වෙනුවට "eggses" කියා ද, "birds" වෙනුවට "birdses" කියා ද, "hobbits" වෙනුවට "hobbitses" කියා ද කියන්නට විය. "We hate it" වෙනුවට "we hates it" කියන්නට විය.
සම්මුඛ පරීක්ෂණයකට ගොස් "I lives in Colombo" කීවොත් කොහොම ද? ;-) බොහෝ විට ඉන් සමත් වීමේ ඇති ඉඩ බොහෝ සෙයින් අඩු වී යනු ඇත. නමුත් සිංහළයෙන් මෙ වන් වැරදි කිරීමේදී නම් මේ කිසි නීතියක් නො සැලකේ. "ඒ කියන බසනේ" කියා නොසලකා හරිති. හරියට සිංහළය දැන නොදැනීම නිසා එ වැනි පාඩු සිදු නොවේ. ඒ නිසා වැඩි දෙනෙක් ඒ ගැන කිසි ම තැකීමන් නො කරති.
හරි සිංහළය කෙසේ වෙතත්, හරි සිංහළයක් තිබේ ද, එ සේ තිබේ නම් ඒ කුමක් ද යන්න ගැන පවා එකඟතාවකට පැමිණීමට ඉතා අපහසු තත්ත්වයකි අද ඇත්තේ.
අවුරුදු හාරසිය පනහකට කිට්ටු කාලයක් යටත් විජිත යුගයක ඒ ඒ ජාතීන් ගේ බස් වලට මුල් තැන ලැබුනු නිසා ද, ඊට පසු අවුරුදු පනහකට වැඩි කාලය ද ඉංගිරිසිය දැන ගැනීම වාසි දායක වන, එහෙත් සිංහළය දැන ගැනීමේ එවැනි ආර්ථික සාමාජීය වාසියක් නැති කාලයක් වූ නිසා ද, ගෝලම්ට සිදුවූ දේ සිරිලක සිංහළයට සිදුවී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
1835 දී පනතකින් ම යටත් විජිත වල බස, හැදියාව සහ සිප්ලකුව යටපත් කොට, ඒ වෙනුවට බටහිර බස, හැදියාව සහ සිප්ලකුව ගෙන ආ යුතු බවට ගත් තීරණය නිසා මේ පිරිහීම තවත් ඉක්මන් වී ඇත.
පිරිගණන වැඩසටහනක් හෝ සුසැටියක් හොඳින් වැඩ කරන විට එහි එක් මොහොතක තත්ත්වය (snapshot) ලබාගෙන එය සුරැකිව තබා ගන්නේ, පසු කලෙක එයට හානියක් වූ විට, අන්තිම වරට හොඳින් වැඩ කල තැනට ආපසු ගොස් (revert) පටන් ගත හැකි බැවිනි.
පිරිහී ඇති සිංහළ බස, අන්තිමට එය හොඳින් තිබූ පසලොස්වන සියවසේ "snapshot" එකකට "revert" කිරීම එතරම් පහසු, සුදුසු හෝ ප්‍රායෝගික දෙයක් සේ නො සිතමි. නමුත්, ඒ හොඳ සිංහළයෙන් අදහස් ගත් කුමරතුඟුවන් වැනි පඩුවන් ගේ අදහස් අද කලට සුදුසු ලෙස ගෙන බස පිරිසුදු කිරීමේ අරමුණ ඇති බොහෝ දෙනෙක් ඉන්නා බව දැකීම සතුටට කරුණෙකි.
බස නැඟුමට කැමැති එවන් අයට, ඕනෑම දෙයක් ගැන හොඳ බසින් කීමට ද, හොඳ බස ගැන ඕනෑම දෙයක් කීමට ද, "හෙළ හෙළිය" නමින් සවිදහනක් තනා ගතිමු. කුමන මඟ නිවැරදිදැයි වාද කිරිමට කාලය නාස්ති කිරීම වෙනුවට බස ගැන කුමරතුඟුවන් ගත් නුමුසු හෙළ බසට මුල් තැන දුන් මඟෙහි, අද කලට ගැලපෙන ලෙසින්, ප්‍රායෝගික ව, අන්තවාදී නොවී ඉදිරියට යාම එහි අරමුණ යි.
හෙළ සාහිත්‍යයේ ඇති රසවත් තැන්, හොඳ ගැදි පැදි ගැන කතිකා ද මෙහි සිදු වේ යයි බලාපොරොත්තු වෙමු.
එයට එක් වීමට බස් ලැදියන්ට ඇරැයුම් කරමි!
ගැටපදය: සිප්ලකුව - technology, පිරිගණන - computers, සුසැටිය - system